කුඩයක් ඕනෙමද කෙල්ලේ හදිස්සියට තෙමෙන්නට(18+)

සීතල සුලගේ ඇවිදින් මගේ හිත අවුස්සන

තෙමුණු කෙස් ටික විත් නිරුවත් පිට වෙලාගෙන

කොට ගවුමේ දිය බ්ංදු නිරුවත් දෙපාත් සිඹගෙන

වහල් කඩත් කෙටි වුනේ හොද වෙලාවට

කිටි කිටියේ හිරවූණු තුන් හතර දෙනාටම

හිරිපොදත් ගැවුවේ මගේ සිතේ හිරි කැඩෙන්නට

ගෑවි නොගෑවී ගෑවෙන ඔය සුරත

අල්ලනමයි හිතෙන්නේ කෙල්ලේ ඉවසුවනම් ඇති දැන් හොදටම

හරි වැස්සක් නොවැ වහින්නෙ හිතුවෙවත් නැති කල

කියා විමසුවේ නූබමයි මන් හිටියේ බොරු වැදගත් කමට

ගෑවි නොගෑවි අතිනුත් ගසමින් සිනාසෙන

නුඹ නම් හරි ලස්සනයි කෙල්ලේ මත් වී මන් දැන් හොදටම


වැසි බිංදු පිටතේ දග කර මවන රේඛා වල

එහා මෙහා යන මගේ සිතටත් නිම් නොමැත

පිරුණු පුන් කලසේ කීරි ගස්වන පිරුණූ බව

තුල දග කරන්නමයි සිතෙන්නේ ඒකත් ඇති බන් හොදටම

සොදුරු නුඹෙ මුහුණටමයි වහින වැස්සෙනුත් කරදර

දිය බිංදුත් සොයන්නේ සුන්දර තිසරු සුව

ගොළු වී බැලෙන ඒ සුන්දර දසුන

මා බලනා බව දකින නුඹටත් සිනාගියේ ඇයිද??

වැස්සත් පෑයුවා පොදකින් තාමත් තෙමෙනවා පාර

කුඩයකුත්  ළග නෑලු එනමුත් නුඹත් ආසයිලු  වැස්සේ යන්ට

ලයිෂනුත් ඇතිලු එනමුත් බයලු නුඹ ලෙඩ වෙයිලු

එහෙමැයි කියා කුඩයකුත් ඕනෑමද කෙල්ලෙ හදිස්සියකට තෙමෙන්නට

-රෝමාන්තික රස්තියාදුකාරයා-

RomanthikaRasthiyadukaraya/facebook

සැ.යු- එහෙමැයි කියලා 18- බැලුවත් කිසිම අවුලක් නෑ

Posted in Uncategorized | Leave a comment

සුන්දර පාසලේ කුඩේ යටින් ගිය මතක

පුංචිම සන්දියේ වැස්සට රොත්ත පිටින්ම එක්කවු වෙලා මඩ නාන්න,වැටෙන්න, ඇලේ බැහැලා මාළුන්ට දැල් දාන්න තිබුණේ පුදුම ආසවක්.සමහර විට මිනිස්සු ලොකු වෙනකොට ඒවා ටික ටික නැති වෙනවද කොහෙද. රස්තියාදුකාරයා දැන්නම් වැස්සෙ තෙමෙන්න ආස නෑ.ඒත් වැස්සට ආසයි පුදුම හිතෙන තරම්. අද උදෑසනම ධාරානිපාත වැස්සෙ කිටි කිටියේ ගුලි වෙලා පාසල් යන බාලිකාවෝ ටිකකුයි,කොල්ලො ටිකකුයි රස්තියාදුකාරයට මතක් කරේ සුන්දර පාසලේ සොදුරු මතකයන්.

                                                           මේ සිද්ධිය වෙන්නෙ රස්තියාදුකාරයා දහය වසරේදි වගේ ඔය කාලෙදි තමයි අර සමවයස් වල ප්‍රේම සම්බන්ධතා ඇති වෙන්න ගන්නේ.තැන් තැන් වල එක එක මුළු වල අත් අල්ලන් කතා බහ කරන්න ගන්නෙ. ඒ වගේම ඔළුවෙ ජෙල් ගාලා, උල් සපත්තුව පොලිෂ් කරල, කලු පාට මේස් වලින් අයින් වෙලා ලෝකල් මාකට් එකෙන් ගහන Adidas,Reebok වගේ නම් වල අච්චුව ගහපු සුදු පාට මේස් වලට මාරු වෙන්නෙ,  ඉස්කෝලෙන් දෙන නිල් පාට රෙදි වලට සමුදීලා. සේන අයියගේ ටේලර් ෂොප් ඒකෙන් කලු පාටට හුරු තද නිල් පාට කොට කලිසම් අදින්න ගත්තෙත් ඔය කාලේ,කලිසම තියෙන්නෙ ඉනෙන් පොඩ්ඩක් පල්ලෙහාට වෙන්න. ඒ වගේම දන හිසත් සම්පූර්ණයෙන්ම වැහෙන්න. කමී‍සය බැගී දාල දාන් එන එක අපේ කාලේ අවුට් ඔෆ් පැශන් අපේ කාලේ ජංගි කොටේට තමයි ෂර්ට් එක යට කරගන්නෙ.එතකොට කමීසෙ උඩ එනවා බොරු.

                   අපිට සාපේක්ෂව ගැහැණූ ළමයින්ට ඒ නිදහස අඩුයි. කොල්ලොන්ට වඩා කෙල්ලො කොහොමත් හිටියේ කන්ට්‍රෝල් එකක. හැබැයි අර ඉන ගාව තියෙන පටිය හැලෙන්න ඇදපු ගැහැණු ළමයිනුත් නොහිටියම නොවෙයි. කොහොම වුනත් ගැහැණු ළමයිනුත් ගවුමේ රැලි පිළිවෙලට තියලා, පිරිසිදුව එන්න පටන් ගන්නෙ ඔය කාලේ.

                                     ඔය කාලේදි අපේ පන්ති වල හිටියා පුදුම තරම් ලස්සන කෙල්ලෙක්, අදටත් එහෙමයි, එයාගේ මුහුණ විතරක් නෙවෙයි අග පසග වුනත් පුදුම තරම් ලස්සනයි.සුදුම සුදුයි, තරමක් උසයි, අපිට පේන කිසිම තැනකවත් අල්පෙනෙත්තක් තරම්වත් කැළලක් නෑ.හම්මේ…… ඒ ලස්සන මතක් කරද්දි හිත නිකන් පිරිලා යනවා. අපේ වයසෙ හිටපු ලස්සනම ගෑනු ළමයි දෙතුන් දෙනාගෙන් කෙනෙක් ඒ. දන්න කාලේ ඉදන්ම හරිම ආඩම්බරයි. උපතින්ම සශ්‍රීක මිළ මුදල් යහමින් තිබුණු පහුලක ඉපදුණු තැනත්තියක්. කොල්ලෙක් එක්කවත් කිසිම කතාවක් නෑ, මොකක් හරි ඇහුවොත් උත්තර දෙනවා එච්චරයි.


                                                    කොටින්ම කිව්වොත් උන්දැ හින්දා අපේ ඉස්කෝලෙ වලි ගියේ හත,අට වසර වගේ කාලෙ ඉදන්. ලොකු පන්ති වල එවුන් ඒකට බහිනවා තරම් ඇලජික් එකක් තවත් අපිට තිබුන් නෑ. ඒත් ඉතින් මේ සුන්දරියට ඕවා ගැන ගානක් වත් නෑ. පලමු ශ්‍රේණියෙ ඉදන් දහය වසර වෙනකම් රස්තියාදුකාරයගෙ ඉස්කෝලෙ හිටියට කිසිම දවසක එක පන්තියේ දෙන්නා වැටිලා නෑ. ඒ හින්දම වචනයක්වත් කතා කරලා නෑ.පන්ති‍යේ හිටියත් කතා කරන එකකුත් නෑ. මොකද තමන්ගෙ පාඩුවෙ, තමුන්ගෙ වැඩ එච්චරමයි……………………

                                             අපි හැමෝටම දහය වසරේ වෙලත් මේ ගෑණූ ළමයත් එක්ක වචනයක් කතා කරන්න තිබුණනම් ඒක ඉහට උඩින්.කිසිම නපුරු කමක් වත්, නපුරු පෙනුමක්වත් නැති වුනත් ඒ සුන්දරිය සොදුරු බවින් අනූන හින්දමද කොහෙද අපි හැමෝටම කතා කරන්න බයයි. ඒත් ඒ කාලේ රස්තියාදුකාරයා ඉන්නෙත් ෂර්ට් එක යට කරලා ජෙල් තලියක් ඔළුවෙ උලාගත්තම ෂාරුක් ඛාන් වගේ කියල හිතලනේ.ඔව් ඉතින් වදුරො පොල් කනවා වගේ තමයි, ඒත් අපි ඉන්නෙත් එහෙමයි. ළගක ඉන්නවනම් මූනවත් බලන් නෑ. හෙන ලෙවල් එකේ. ඒත් උන්දැ අහක බලනකොටම මේ දෑස් උන්දැගේ සිරුරෙම තමයි. ඇයි අප්පා බලලා ඉවර කරන්න පුළුවන් ලස්සනක් ද ඇත්තට……. මිහිපිට බට සුරන්ගනාවි‍යක් වගෙයි.

                                                           ඉතින් ඕන එක දවසක් පාසල නිමා වෙන වෙලාව එනකොට හොදටම සහලොවලා වැස්ස, පිට්ටනිය අයිනෙ තියෙන රූස්ස ගස් හුලගට ඇබෙරෙනවා, දොබ ගෙඩි තරම් වැහි බින්දු සර සර ගාලා පීල්ලෙ වැටිලා බිමට වැටෙනවා. පාසල නිමා උනත් කිසිම දවසක කුඩයක් නොගෙනෙන අපි බලාගෙන ඉන්නවා අපේ හෝල් එක අයිනට වෙලා. ඔක්කොම බලන් ඉන්නෙ ගෙදර යන්න, උඩ තට්ටුවෙ ඉන්න එවුනුත් පල්ලෙහාට එන එක බොරු වැඩක් නිසා උඩ තට්ටුවෙ කෙටි බිත්තියට බර වෙලා වැස්ස ටිකක් අඩු කරනකම් බලන් ඉන්නවා.මුළු හෝල් එකේම ඉන්නෙ අපේ වයසෙ ළමයි විතරයි.

                                                        රස්තියාදුකාරයයි යාළුවයි හිටියෙ පල්ලෙහා.ආ… යාළුවා ගැන කියන්න අමතක වුණා නේ.මිනිහා ගැනනම් වෙනම බොලොග් එකක් ලියන්න ඕනෙ,ඒත් කෙටියෙන් කියනවනම් මිනිහා අංක ඒකෙ මල්සරා ඒ කාලේත් පොඩි පහේ උමතුවක් තිබ්බා ගෑණු ළමයි අතර මිනිහා ගැන.ඔය කාලෙම කෙල්ලො දෙතුන් දෙනෙකුත් මිනිහගෙන් කැමත්ත අහලා තිබ්බා.ඔය වයසෙදි කෙල්ලෙක් ඇවිල්ලා කොල්ලෙක්ගෙන් කැමත්ත අහනවා කියන්නෙ. විශ්වාස කරන්න තියා හිතාගන්නවත් බැරි දෙයක්. ඒත් එහෙම වුණා. මිනිහගේ පර්ස් එකෙන් උස්සපු ෆෝටෝ කෑලි පවා සමහර ගෑණූ ලමයි හන්ගගෙන තියන් හිටියා.

                                               එදත් මගෙ හොදම යාලූවෙක් වෙන මේකයි මායි අදටත් එහෙම්මමයි. වැස්ස පොඩ්ඩක් අඩු කරනකොට එකා දෙකා යනවා.ඒත් ආයෙත් වැස්ස වැඩි වෙනාවා ඔන ඔය අතරෙ කුඩ තියෙන අය දැන් පිටත් වෙනවා. ඔය අතරෙදි ඔන්න මන් අර කියපු ද්‍රිව්‍යයාංගනාවත් කුඩයක් අරන් එළියට බැහැලා යන්න හදනවා එයාගේ යාලුවත් එක්ක. දැන් එලියට බැහැලා කුඩෙත් ඉහළ ගෙන  හෝල් එකට සමාන්තරව ඇවිදගෙන යනවා. ඇත්තමයි බන් ඒ ඇවිදින විදියෙත් පුදුම ලස්සනක් තමයි තිබ්බෙ.

                                                      දැන් ඔන්න අපි දෙන්න හිටියෙ හෝල් එකේ කොනේම පන්තියෙ. මේ සුන්දරිය අපි ඉස්සරහින් යනකොට බොරු ලයින් එකට අපි  හිතා මතාම ගානක් නෑ වගේ අහක බලන් ඉන්නවා. එකපාරට අපි දෙන්නා ඉස්සරහා නතර වුණු මේ සුන්දරිය කියපි රස්තියාදුකාරයගෙ නම කියලා *** ඔයා මගේ කුඩේට එන්න තරිදු  තිළිණිගෙ කුඩේ යටට යන්න,නැත්තම් අද යන්න බැරි වෙයි” කියලා අහක බලන් ඉන්නකොට හීනෙන් ඇහිච්ච කතාවක් වගේ ඇහුණු මේ වචන ටිකෙන් මන් පපුවෙ අමාරු කාරයෙක්නම් ඒ වෙලාවෙම හුස්ම හිරවෙලා මැරෙනවා. ඒත් බොරුවට කලබලයක් නැතිව වගේ මම කුඩේ යටට රින්ග ගත්ත.

         හෝල් එකෙන් පිට වෙලා මන් උන්දැගේ කුඩේ යටින් යන අපූරුව උඩ හිටපු එවුනුයි යට හිටපු එවුනුයි හොදට බලාගෙන.හරහට එන සුලගෙනුයි,වැස්සෙනුයි ආරක්ෂා වෙන්න කුඩේ පැත්තට හරවනවා. ඒ ධාරානිපාත වැස්සට හොදටම තෙමුනත් මාත් එයත් කුඩේ යටින් යන්නෙ තුරුල් වෙලා වගේ. පැත්තෙන් හුලග එනකොට පැත්තට හරවනවා අයෙත් ඉස්සරහින් හුළග එනකොට ඉස්සරහට හරවනවා. ඒ අස්සෙ ළැදැරියට හුලගින් ගවුමත් පරිස්සම් කරගන්න වෙලා. වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා මමත් ගොඩක් උස නිසා කුඩේ මගේ අතේ, වැස්සට බේරෙන්න එයා මන් තුරුළේ. එයාගේ සුන්දර හංසලතාවොත් මගේ පපුව අස්සෙ සරණක් හොයනවා. පාසලේ ඉදන් බස් නැවතුම තියෙන්නෙ මීටර් තුන්සීයක් පමණ දුරින් වුනත් රස්තියාදුකාරයා යන්නෙ ගොඩක් හෙමින්. ඒකට මගේ යාළුවා ඉස්සරහින් ඩොට් වෙන්නම ගිහින්.

                                                  අතුරු පාරට ආවම හුලග ගොඩක් අඩුයි.ඒත් වැස්සනම් එහෙම්මමයි. තාමත් අපි දෙන්නා කිටි කිටියේ එක ළග තුරුළු වෙලා, එත් ඔන්න දැන් එයාම පටන් ගත්තා එක එක ඒවා කතා කරන්න.මාත් ඉතින් එක එක ඒවා එයාගෙන් අහනවා.එයාගේ පපුවෙ උණුසුම මට හොදටම දැනෙනවා.සමහර විට එහෙම උනුසුමක් නැතිව ඇති උණුසුම් වෙලා තියෙන්නෙ මගේ හිත වෙන්න ඇති.ඉතින් දාහක් දේවල් මන් ඒදා එයත් එක්ක කතා කර කර පාරෙ දිගේ එනවා.සමහර වෙලාවට එයා කුඩමිට අල්ලන්නෙ මගෙ අත උඩින් එයාටනම් ගානක් වත් නැතිව ඇති.ඒකට මට. සුමුදු රතු පාට ඒ දෙ අත්ලේ රස්නේ තාම දැනෙනවා වගේ.ඔව් ඔව් බන් කවද කාපු ටකරන් ද ඕවා ඒ කාලේ.

                                                  අන්තිමේට බස් නැවතුමට වෙනකම්ම ආපු ඒ දවස ඒදා වගේම අදටත් එහෙම්ම දැනෙනවා. මුලින්ම මාව බයිට් කරන්න ගත්තේ අර මගේ යලුවා.පස්සෙන්දා අපෙ පන්තියෙ එවුන්ගෙනුත් නා නා විද කතා.කොටින්ම අපේ පන්තියෙ කෙල්ලෙක් කියපි

 “මන් ඔයාගෙත් ඉස්සරහා වගේ හිටියෙ ඒත් බලන්නකො ඔයාලටමනේ කතා කරේ,මොනව හරි දෙන්නගේ ඇති නේද” කියලා.බලහල්ලකො ඉතින් ඉරිසියාව නේ…..

                පස්සෙන්ද ඉන්ටිවල් එකේදි අර සුන්දරිය මගෙන් අහනවා හිනා වෙවි.

“අදත් කුඩයක් නෑ නේද,එහෙනම් අදත් මාත් එක්කම නා ගෙනම යමු” කියලා…කොල්ලො ඉස්සරහා ඒ කෙල්ල මට ඔය වගේ කතාවක් කියනවා කියන්නේ ෆුල්ම ප්ලේස් එක තමයි ඉතින්.ඒත් විශ්වාස කරපන් ඊට පස්සෙ ඒ මාසෙම ඉස්කෝලෙ අරින ටයිම් එකට වැස්සෙ නෑ………….ඉතින් එහෙව් අපිට  අවාසනාව ගැන ලෙක්චර් දෙන්න ඇවිල්ලා හොම්බ කට තලාගන්න හෙම එපා……….

                                    කොහොමින් කොහොම හරි ඒ සිද්ධිය වෙලා සෑහෙන කාලෙකට පස්සෙ උසස් පෙළ කරන කාලේදි ඒ ගෑණු ළමය කරේ රස්තියාදුකාරයා කරපු විෂය ධාරව නෙවෙයි. ඔය වගේම වැහි බීරුම තියෙන ඇදිරි වැටිලා තියෙන දහවලක මොහොකට හරි ඒ පන්තියට ගියපු වෙලාවක ඒ ගෑණු ළමය හිටියේ මොහොකට හරි ඒලියට යන්න කුඩයකුත් අතේ තියාගෙන. ඒ වෙලාවෙදි එදත් ඒ ගෑණු ළමයා මගෙන් අහනවා කුඩේ පෙන්නලා

“මතකද එදා වැස්සේ ගියපු හැටි කියලා”

                           ඒ කියන්නෙ මට තරම්ම සොදුරු නොවෙන විදියට හරි කොහොම හරි ඒ ගෑණු ළමයගේ මතක ලැයිස්තුවෙත් රස්තියාදුකාරයත් එක්ක ගියපු ඒ ගමන තියෙනවා කියලනේ.කොහොමහරි තාමත් මම    කුඩා ළමයෙක් වගෙ වැස්සට ප්‍රේම කරනවා.ඉතින් කව්රුන් හෝ මෙහෙම කතාවක් කියලා තියෙනවා කියලා අහලා තියෙනවා.

“හුග දෙනෙක් වැස්ස විදවනවා

ඒත් ටික දෙනෙක් වැස්ස විදිනවා” මන් හිතන්නෙ මන් දෙවෙනි කොටසේ.

Posted in Uncategorized | Leave a comment

රස්තියාදුකාරයා ගැන

අදත් උදේම මන් දුම්රිය පොළට ගොඩ වුනා ඒ මොකටවත් නෙවෙයි රැකියාව සදහා පිටත් වෙන්න.රැකියාවක් කියලා කිව්වට මේ එහෙම ලොකු රැකියාවක් නෙවෙයි යහළුවෙකුට, නෑදෑයෙකුට තියා ගෑවිච්ච් එකෙකුට කටක් ඇරලා ගන්න පඩිය කීයද කියලා නම් කියන්න බැරි හැබැයි කට පිරෙන්න කොළඹ රස්සාවක් කරනවා කියලා නම් කියන්න පුළුවන් එකක්.ජීවිතේ පටන් ගන්න ඕන අන්තිම අඩියෙන්ලුනේ මාත් එහෙම තමයි හැබැයි පොඩි ප්‍රශ්ණයකට තියෙන්නේ අවුරුදු ගානක් තිස්සේ තාමත් අඩියෙම තමයි.ගොඩ යන්න ඕන.හීන ගොඩක් තියනවා බොරු කියන්න ඕනෙ නෑනෙ මගේ ජීවිතේනම් සුන්දර නෑ පට්ට කට්ටක්.කටු කාලා තමයි ලු ගොඩ යන්න ඕන ඒත් තාම ගොඩ යාම නම් අහලකවත් නෑ.මේක තමයි මගේ ජීවිතය ඒ ජීවිතය ඉදිරියට උබලත් එක්ක බෙදාහදාගන්නයි මේ සුදානම් වෙන්නේ.කොහොමත් මේ මගේ පළවෙනි බොලොග් සටහන

                                   පාරිභෝගිකවාදී සමාජයේ මිනිස්සු සල්ලි පස්සේ දිව්වත් තාමත් රස්තියාදුකාරය සමහර විට දුවන්නේ මත් පැන් පස්සේ.ප්‍රාණ සම සහෘදයොත් එක්ක එකතු වෙලා වැල්ලේ ගලක් උඩ ලූස් බයිට් අහුරක් එක්ක මත් පැන් වීදුරුවක් හිස් කරන සතුට Felling Happy with 48 others කියලා FB  එකේ කෙටුවට ලැබෙන් නෑනෙ සහෘදයා. රස්තියාදුගහන ජීවිතේ හම්බුණු මිනිස්සු,සිදුවීම් හරිම සුන්දරයි ඒ ගැනත් මතක ගොන්නක් රස්තියාදුකාරයගේ හිතේ තියෙනවා.ඉතින් ඒ වගේම මගේ ජීවිතයේ බොහෝ රෝමාන්තික හමුවීම් වෙන්වීම් වුණ තැනක් තමයි දුම්රිය කියන්නේ කොළඹ කැම්පස් එකට එන කෙල්ලෝ හුගක් වෙලාවට බහින්නේ මන් බහින් ස්ටේශමේමයි ඉතින් උන්දෑලගෙ ඉදලා.රජයේ රස්සා කරන, පෞද්ගලික අංශයේ රස්සා කරන ඇන්ටිලා දක්වා ආදරකථා බොහොමයි 🙂 හැම කථාවක්ම මගේ නෙවෙයි හැබැයි රස්තියාදු ගහන ජීවිතේ අත්දැකපු සුන්දරම දේවල් තමයි ඒ.                                                                                                                     මන් නවතින්නයි සුදානම.මොකද දන්නෙම නැතිව දුම්රිය කොල්ලුපිටියට ඇවිත් මීලගට තිබෙන්නේ මන් බහින දුම්රිය ස්ථාණය.ඉතින්  ඔය තමයි රස්තියාදුකාරයා ගැන,රස්තියාදුකාරයා රස්තියාදු ගහපු ජීවිතේ ගැන කරන්න පුළුවන් සරළ සුගම හැදින්වීම.ඉදින් එකතුවී බෙදාගමු රෝමාන්තික රස්තියාදුව.

-රෝමාන්තික රස්තියාදුකාරයා-

romanthikarasthiyadukaraya/facebook

Posted in Uncategorized | Leave a comment
Posted in Uncategorized | Leave a comment